ශ්‍රී ලංකාවේ ගොවිකම සහ බැඳුනු පැරණි නාට්‍ය
-
මා දුටු සොකරි නාඩගම
වේදිකාව
දැනට වසර ගනනාවකට පෙර සතර කොරළයේ පිටිසර ගමක රඟදැක්වුණු සොකරි නාට්‍ය යම් තරමකින් හෝ මගේ මතකයේ තිබීම භාග්‍යයක් කොට මම සලකමි. අද මෙන් විදුලි ආලෝකයක් නොතිබුණු එදා මුළු රාත්‍රිය පුරාවටම රඟ දැක්වූ මෙම නාට්‍යට ආලෝකය සැප වුයේ පෙට්‍රෝල් මැච් ලාම්පුවකිණි. මේ සදහා තරමක් විහාල ගෙමිදුළක් සහිත ගෙදරක් තෝරාගෙන තිබූ අතර එය හැදින්වූයේ “හීරළු” අත්තාගේ ගෙදර නමින්ය. මොහු උපැවිදි වුයෙක් වුයෙන් ඔහුට එම නාමය අන්වර්ථව තිබුණි. නාට්‍යට රඟ දක්වන දිනට කලින් දිවාකාලයේදි ගමේ වැඩිදෙනෙක් එකතු වී නාට්‍යට අවශ්‍ය වට පිටාව සකස් කළේ ඉතාමත් සතුටිණි. රාත්‍රිය වනවිට මිදුළේ කොණක මල් පැලක් ඉදිකොට තිබු අතර එහි දෙවියන් උදෙසා පහන් දැලවෙමින් තිබුනේය. කරදාසි වලින් අලංකාරයට සරසන ලද කෙසෙල් පතුරු වලින් සකසන ඔරුවක් ද මිදුළේ පසකින් විය. පොල් පිත්තෙන් සකසන ලද කබරගොයෙක් ද පසකින් තිබුණේ නාට්‍ය රඟදක්වන විට ප්‍රයෝජනයට ගැනීමටය.
කථා වස්තුව කෙටියෙන්
සොකරි නාට්‍යයේ කථාව සැකසී ඇතතේ කසී දේශයේ සිට පැමිණි ගුරුහාමි නැමැති ආඬිගුරා, ඔහුගේ රූමත් බිරිඳ වන සොකරි සහ ඔහුන්ගේ වැඩට සිටි පරයා නැමැති අයවලුන් වටාය. මොවුන් කසී දේශයෙන් නැව් නැඟ ලංකාවට පැමිණ අම්ඹලමක සිට ඇත. පසුව පරයාගේ උනන්දුවෙන් තඹරාවිට ගමේ පදිංචියට ගොස් තිබේ. එහිදී ඔහුන්ට නොයෙකුත් ගැටළු වලට පාත්ර වීමට සිදුවිය. සිංහල වචන කීපයක් පරයා දැනගෙන තිබුනත් අනික් අය සිංහල නොදත්තේය. පරයාගේ උනන්දුවෙන් කෑමට සහල් ටිකක් සොයා ගතහැකිවුනත් වතුර නොතිබූ නිසා වතුර ගෙන ඒ්මට වෙනත් ගෙදරකට ගිය අතරේ ගුරුහාමිගේ බල්ලෙක් සපාකෑවේය. ඊට බෙහෙත් කිරීමට වෙදමහතා එක්ක ඒමට වෙදරාළගේ ගෙදරට පරයා යැව්වත් ගුරුහාමිගේ බිරිඳ යන තුරු නොඑන බව ගුරුහාමිට දන්වා එවා තිබුණි. ඒ අනුව වෙදරාළ එක්ක ඒමට ගියේ සොකරිය. මෙහි දී ආරාධනය පිලිගත් වෙදරාළ, ගුරුහාමිගේ ගෙදර පහන් වනතුරු සිට සොකරිත් සමඟ පැන ගියේය. පසුව ගැටළුව සමථයකට පත්කරගෙන සොකරි ගුරුහාමිගේ ගෙදරට ආපසු පැමිණියා ය. පසුව සොකරිට දරුවෙක් ද ලැබුණ බව නාට්‍යයෙන් රඟ දක්වයි.
රඟ දැක්වීම
චාරිත්‍රාණුකූලව මල්පැල තුල පහන් පත්තුකර පොතේ ගුරා විසින් සභාවෙන් අවසර ගනී. ඊ ලඟට එක එක චරිත ගායනයෙන් හදුන්වාදෙන්නේ පොතේ ගුරා විසිනි. මෙහි දී තාලයට ගැයු කවි ගායනා වලට වාදනය සැපයුයේ ගැටබෙරයෙනි.
මහ මුහුදේ නැවෙන් ගුරුහාමී ප්‍රමුක කණ්ඩායම එන ආකාරය අලංකාරව සදාගත් ඔරුව ඇදගෙන යමින් රඟ දක්වන්නේ පහත කවි තාලයට ගායනා කරමින්ය.
මහා මහුදට නැව ඇවිත් බසින්නේ
මහා මුහුදෙ නැව ගමනි බොලන්නේ
ගොළු මුහුදට නැව ඇවිත් බසින්නේ
ගොළු මුහුදෙ නැව ගමනි බොලන්නේ
කළු මහුදට නැව ඇවිත් බසින්නේ
කළු මුහුදෙ නැව ගමනි බොලන්නේ
කර මහුදට නැව ඇවිත් බසින්නේ
කර මුහුදෙ නැව ගමනි බොලන්නේ
ගුරුහාමිගේ පැමිණීම
දේසේ සිට ආ ගුරැ මහල්ලා
දියට යන්ට ලඹුගෙඩියක් එල්ලා
තඹරාවිට වෙදරාළෙගේ බල්ලා
ගුරුවගෙ කකුලක් කාපි බොලල්ලා
නොංඩි ගසමින් පැමිණෙන ගුරුහාමි මිදුලේ වටයක් බෙරපදයට අනුව යයි. සුදුපාට සරමකින් සැරසී සිටි මොහුගේ උඩුකයට සුදුපාට කමිසයක් ඇඳ සිටියේය.ගොක් අතුවලින් සකසන ලද ඔටුන්නක් පැළඳ සිටී.
ඇඳසුදුවත රැලි අල්ලා නෙරිය තියාලා
බැඳ මුදුනට පච්චවඩන් කරටලා
නාද කර සක්ගෙඩිය ගෙන පිඹියි උඩබලා
ඉඳ තැන තැන කට දොඩවයි කන්සා බීලා
වෙව්ල වෙව්ලා ගෙමිදුලට පැමිනෙන්නේ ගේ ඇතුලේ සිටය. පොතේ ගුරාවන දිසානායක මාමාගේ මොහු ගැන කියවෙන කවි ගායනා ඉතා මිහිරිය.ඒ අතරතුරේ අඟර දඟර පාමින් මිදුළේ වටයක් යයි.
වෙදරාළගේ පැමිණීම
වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ
කුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ
විදා පාන්නේ අත් දෙක තෑගි තියන්නේ
නොයෙකුත් විහිළු තහළු කරමින් වෙදාගේ පැමිණීම අර්ථවත් කෙරුණි. ප්‍රෙක්ෂක අපි සියළු දෙනාම කොක් හඬලා සිනා සුනා මට මතකය. වෙදරාළ අවලක්ෂණය. සරමකින් සැරසී සිටී. කෝට් කබායක් ඇඳ සිටි ඔහු බඩ ඉදිරියට නෙරායන සේ කොට්ටයක් බැඳ සකසාගෙන තිබුණි.
සොක්කාගේ පැමිණීම
සොක්කා එන්නේ දෙවනුව නැටුම් නටන්නේ
දැක්කා උන්නේ සෙල්ලම් යසයි කියන්නේ
බක්කා ඉන්නේ නැටුමට මමයි කියන්නේ
සොක්කා දන්නේ නැටුමට බිම පෙරලෙන්නේ
හාස්‍ය ජනක විහිළු සපයමින් සොක්කාගේ පැමිණිම සිදුවෙයි. මෙහි දී නරඹන්නෝද මොකක් හෝ විහිළු වචනයක් කියමින් සභාව හිනා ගන්වන අතර සොක්කා ද ඊට පිලිතුරු දෙමින් විනොදය සපයයි.
පරයාගේ පැමිණීම
හු හඬක් ඇසුනේ මිදුළේ සිට ලිඳදෙසට වැටී තිබූ පාරදෙසිණි. කාවුරුත් ඇස්යොමා බැළුවේ ඒ දෙසය. ඒ පැමිණෙන්නේ පරයා බව ගායනා කරන කවිවලින් කියවුණි.
කෙටළ තලන්නා පරයා - ඇල දිග එන්නා පරයා.
දිග පොල්ලකින් පොලොවට තඩිබාමින් එන්නේ පරයාය. කොළපතකින් සකසා ගත් වෙස් මුහුනකින් සැරසී ගත් මොහු මුදියන්සේ අත්තා කියා හඳුනා ගැනීමට නොහැකි තරම්ය. කොහෙන් දෝ සොයා ගත් දුර්වර්ණ වූ කොට කලිසමකින් සැරසී ගත් මොහු අත්කොට බැණියමකින් සැරසී සිටි තරමක් තරබාරු මිටි අයෙකි.
ඉතින් කියන්නේ තුන්වන වරට නටන්නේ
පරයයි එන්නේ වට පිට නිතර බලන්නේ
කට දෙඩවන්නේ ගිය ගිය තැන පෙරළන්නේ
කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ
මොහුගේ රංඟනය ඉතාමත් හාස්‍ය ජනකය. තැන තැන වැටෙයි. පාද බකල් ගසා ඇවිදියි. බිම පෙරළෙයි. බෙර පදේටම නැටයි.
සොකරිගේ පැමිණීම
කාවුරුත් පුනපුනා බලාහිටියේ සොකරිගේ පැමිණීමයි. දැන් ඇගේ වාරයයි. ඈ මේ කතාපුවතේ ප්‍රධාන චරිතයයි. සාරියකින් සැරසී කොණ්ඩයක් බැඳ, මාල සහ වළලු වලින් සැරැසුන පිරිමි අයෙකු ඉතා ලස්සන ගැහැණියක සේ සභාවට පැමිණියේ කාගේත් අත්පොලසන් මධ්‍යයේය. එසේ ගැහැණියක සේ සැරසී සිටියේ ජයතිලක බවට ගමේ කාටවත් පහසුවෙන් වටහා ගැනීමට අපහසු විය. මෙම නාට්‍ය පෙන්වා දිගුකාලයක් යනතෙක් ජයේ මාමාට කව්රුත් කිව්වේ “සොකරි” කියාය.
ඇගේ රඟමඬලට පිවිසිම වර්ණනා කලේ මෙසේය.
සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නි පියයුරු ලැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී
තාලයකට අඩිය තබමින් ඉඟ සුඟ සොලවමින් සභාවට පැමිනෙන්නේ හැඩවැඩ දමමින්ය.
අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩය ගොතා හෙලන්නී
තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
සේල අදින්නී පටකින් ඔමරි කරන්නී
සොකරිගේ චරිතයට ගොඩාක් රංඟන එකතුකොට තිබුණා මතකය. පන් කැපීම, පන් වේලීම, සායම් පෙවීම, පැදුරක් විවීම, රටා දැමීම යනාදි රංඟනයන් විචිත්‍ර ගායනයන් සමඟ සිදුවුණි. ඒ අතර වී පෙලීම, හාල් ගැරීම, ලිප මොලවා බතක් පිසිම ආදිය ද රංඟනයේ අංඟ විය. කබරගොයා පැමිනෙන්නේ මේ අතරය.
කබරගොයාගේ පැමිණීම
ඇතුලට පුළුන් දමා කබරගොයකුගේ අනුරුවක් ගෝණියකින් සකසා එය සභාවට ඇදගෙන ආවේ මේ අතරය.
කෙළියක් කෙලවෙයි අදහෙට
කබරගොයෙක් එයි ගෙදරටකබරගොයෙක් ගෙදරකට පැමුණුනානම් එය අසුභ ලකුණක් සේ ගැමියෝ සිතයි. ගුරුහාමි බල්ලා සපාකෑමත් වෙදරාළ සමඟ සොකරි පලා යෑමත් යන කරුණු මෙයින් සංකේතවත් කරන්නට ඇත.
අවසානය
අවසන් වශයෙන් සොකරිට දරුවකු ලැබීමත් දරු සුරතල් කිරීමත් මෙහිදී ඉදිරිපත් කෙරුණි. මේ හැම මොහොතකම ඒ රංඟන ඉදිරිපත් වුයේ විචිත්‍රගායනයන් සමඟය. සොකරි දරුවා වඩාගෙන ප්‍රෙක්ෂකයන් අතරට වුයේ කිසියම් ආධාරයක් බලාපොරොත්තුවෙන්ය. රැස්ව සිටි සියළු දෙනාම මුදලින් ආධාර කරණු දිටිමි. අවසානයේ ගමටම සෙත් පතමින් කථාව අවසන් කරයි.
ගව සම්පත් බෝ වේවා
ගහ කොළ පලදා වේවා
ගජ කුළු බිය නැති වේවා
ගණ දෙවි නුවණක් දේවා
අසා දැනගත් නැන්දම්මා සහ ලේලී නාට්‍ය
නැන්දම්මා සහ ලේලී අතර පවතින අරගලය ගැමිසමාජයේ ප්‍රචලිත කරුණකි. මේ සම්බණ්ඩව බිහි වූ කාව්යම නාට්යත ඇතැම් උත්සව අවසථා වේදිකා ගතකෙරේ. උපහාස මෙන්ම හාෂ්යවයෙන්ද පිරී ඇති මෙම නාට්‍ය කාගේත් සිත්ගන්නා සුළුය. එහි ඇති දෙබස් කියවීමෙන් හෝ නාට්‍යක අනුසාරයෙන් දැකීමෙන් සියළුදෙනාම වින්දනයක් ලබනු නොයනුමානය.
නැන්දම්මා
නිකන් ඉන්න එපා ලේලියෙ වැඩක් කරාපන් ලේලියෙ වැඩක් කරාපන්ලේලිය
වැඩක් කරන්නට නැන්දේ වැඩක් කියාපන් නැන්දේ වැඩක් කියාපන්නැන්දම්මා
වී ඩිංගක් මැනලා ඇති මෙන්න කොටාපන් ලේලියෙ මෙන්න කොටාපන්ලේලිය
මෙහෙම කොටන්නද නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන්නැන්දම්මා
ඔහොම නොවෙයි බොල ලේලියෙ මෙහෙම කොටාපන් ලේලියෙ මෙහෙම කොටාපන්ලේලිය
මෙහෙම කොටන්නම් නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන්නැන්දම්මා
වී කෙටුවා ඇති ලේලියෙ මේක පොලාපන් ලේලියෙ මේක පොලාපන්ලේලිය
මෙහෙම පොලන්නද නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන්නැන්දම්මා
ඔහොම නොවේ බොල ලේලියෙ මෙහෙම පොලාපන් ලේලියෙ මෙහෙම පොලාපන්ලේලිය
මෙහෙම පොලන්නම් නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන්නැන්දම්මා
වී පෙළුවා ඇති ලේලියෙ ටිකක් නටාපන් ලේලියෙ ටිකක් නටාපන්ලේලිය
මෙහෙම නටන්නද නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන්නැන්දම්මා
ඔහොම නෙවෙයි බොල ලේලියෙ මෙහෙම නටාපන් ලේලියෙ මෙහෙම නටාපන්දොං කිඳ දොං................
දෙදෙනාම එකතුව නටන්නට පටන්ගැනීමෙන් නාට්‍ය අවසන් වෙයි