ගොවිතැන හා   බැඳුනු යන්ත්‍ර -මන්ත්‍ර , බලි -බිලි-තොවිල්   සහ විශ්වාස         

  • පිරිත් පැං ඉසීම

    පිරිත් පැං භාවිතයෙන් ඇතැම් ව්‍යසන දේවල් වලක්වා ගත හැකි බව ශ්‍රී ලංකාවේ ග්‍රාමීය බෟද්ධ ජනතාව අතර විශ්වාසයක් පැවතුණි. ඊට හොද උදාහරණයක් වනුයේ මොනයම් හෝ හේතුකොටගෙන සිඳීයන ලිංවලට පිරිත් සංඟායනාවකින් ලබාගන්නා පිරිත් පැං ස්වල්පයක් දැමීමයි. එහි බලයෙන් එම ලිඳේ වතුර නැවත යථා ස්වාභවයට පත්වන බව විශ්වාශ කෙරේ.

    මතුරා හුණු ගෑම

    දත් කැක්කුමත් හැදුණුවිට පැරණි ගමේ බොහෝ දෙනෙක් ගියේ ගමේ වෙදමහතා සොයාගෙනය. එහි දී ඔහු මන්ත්‍ර බලයෙන් එම අසනීපය සුවකිරීමට කටයුතු කෙරුණි. මෙහිදී ඔහු කරණුයේ විට සමඟ කන හුණු ස්වල්පයක් අතට ගෙන ඊට මතුරා එය දත් කැක්කුම ඇති කම්මුල් පෙදෙසේ තැවැරීමයි. ඉන් එම දත්කැක්කුම සුවවෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කෙරුණි.

    මතුරා බත්ගුලියක් කැවීම

    කෑම කන අවස්ථාවල කුඩා ළමුන්ගේ උගුරේ ඇතැම් විට කුඩා කරවල කටු හිරවූ අවස්ථාවක පැරණි ගම්වැසියෝ ගමේ වැඩිහිටියෙක් වු වෙදමහතා සොයාගෙන ගියෝය. එහිදි කරණුයේ ගෙදර පිසු බත්ගුලියක් අතට ගෙන ඊට මතුරා එය ගිලීමට සැලස්වීමයි. ඉන් එය ගැලවී ගොස් එය සුවවෙන වෙනබව පැරණි ගමේ ගොවි ජනතාව අත්දැක තිබුණෝය.ඔවුන්ගේ විශ්වසය වූයේ මන්ත්‍ර බලයෙන් එය සුවවෙන බවයි.

    සුනකයෙකු සැපුකළ මැතිරීම

    එදා ගමේ අයෙකු සුනකයෙකු සපා කෑ කල යන්නේ ගමේ වෙදමහතා සොයාගෙනය. බොහෝ වෙදමහතුන් කට්ටඩියෝය. මෙහි දි වෙදමහතා කරණුයේ විට සමග කෑමට ගන්නා හුණු ස්වල්පයක් ගෙන ඊට මතුරා සපාකෑ ස්ථානයේ තැවැරීමයි. ඉන් තුවාලය සුවවෙන බව විශ්වස කෙරැණි.

    බලි තොවිලය

    ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂයෙන් යක්ෂ, භූත, ප්‍රෙත, පිසාච හා නවග්‍රහයන් වන නොපෙනෙන බලවේග වලින් ඇතිවන විපත් දුරු කරගැනීම සඳහා බලි තොවිල් හා ග්‍රහපූජා යන ශාන්තිකර්ම විධි කිහිපයක් පවත්වතී. මේවාට බොහොවිට පදනම වී ඇත්තේ හින්දු විශ්වාස හා ප්‍රාථමික ගැමි සමාජයේ එන ජන විශ්වාසයයි. මෙම ශාන්තිකර්ම සදහා බුදු ගුණ, දහම් ගුණ සහ සඟ ගුණ ඇතුලත් කවි සහ ස්තෝත්‍ර භාවිතා කෙරේ.

    "මුනිඳු තෙමහල් වඩින සිරිලක පැමිණ විජලිඳු රජු    එදා
    සුරිඳු පුල්වන් දෙවිඳු මැව්වේ පිරිත් පැන් මතුරා    යොදා
    පසිඳු තුළ පඬුවස් රජුන් හට තලෙන් පිරිපත දුක    මුදා
    මෙලෙස දින අද මෙආතුර හට පිරිත් පැන් වඩම්වම්    අදා"

    ඇඟ කෙට්ටුවීම, නිතරම අසනීපයෙන් පෙලීම යන කරුණු ඇතැම් විට හදි හූණියම් කිරීම වැනි බලවේගවලින් සිදුවනබවක් සමහර ගැමියන්ගේ විශ්වාශයයි. තවද, සමහරුන්ගේ කටවහ සහ ඇස්වහ නිසා ඇතිවනබවත් සමහර පැරණි ගැමියෝ විශ්වස කළෝය. මේ නිසා බලි තොවිල් වෙනි යාග කර්ම කිරීමට ඔවුන් පෙළඹුනාහ. මෙහි සදහන් කරන බලි තොවිලය එසේ ඇස්වහ නිසා ඇතිවූ අපලයක් ඉවත් කිරීමට හතර ශ්‍රී ලංකාවේ සතර කෝරළයේ ගැමි පවුලක පවත්වන ලද බලි තොවිලයක් වෙයි.

    ගුරුන්නාන්සේ ආතුරයාගේ ගෙදරට වේලාසනින් පැමිනෙන්නේ අවශ්‍ය කටයුතු සකස්කර ගැනිමටය. විශේෂයෙන් දුම්මලකුඩු, පොල්තෙල්, මල් පහන් වැනි තොවිලයට අවශ්‍ය බඩු විස්තරයක් කලින් දෙන අතර එය නිසියාකාරව සැපයිම ආතුරයාගේ ගෙදර අයගේ වගකීමකි. බලි රූපයන් මැටියෙන් හෝ කෙසෙල් පට්ටාවලින් සකස් කරගන්නා අතර, ගොක් අතුවලින් මල් යහන් බැදීම සහ මල් තට්ටු සැකසීම කල් වේලා ඇතුව ගුරුන්නාන්සේ විසින් කරනු ලැබේ. තොවිලය පටන්ගන්නේ රාත්‍රීයේය.පන්කොළ වට්ටියක මැද තබන ලෙලිගැසූ පොල්ගෙඩියක් ද එම වට්ටියේ ම සහල් ස්වල්පයක් ද අතුරා තිබුණි. මල්පැල පහන් දල්වා දුම්මල කට්ට කුමච්චල් දුම් අල්වා නැටුම් ඇඳුමෙන් සැරසුණු ගුරුන්නාන්සේ බුදු ගුණ ගයමින් තොවිලය පටන් ගනී. ආතුරයා සුදුවතින් සැරසී පැදුරක වාඩිවී සිටින්නේ වැඳගෙනය. ගුරුන්නාන්සේ එක අතකින් දල්වන ලද පන්දමක් ද අනික අතින් මිණි ගෙඩියක් ද දරාසිටින අතර ඔහුගේ පා සොළවන විට පාවල බැඳි පා සළඹේ ගෙජ්ජිද නාදවෙයි. බෙරකරු තාලයට වයන බෙර පදයට පා තැබීමත් කවි ගායනයත් වන අතර සෑම සෙත් ශාන්ති ගායනයක් අවසානයේ දෑත් ආතුරයා දෙසට දිගු කරමින් සෙත් පතන අතර ඒ හැම අවස්ථාවකම වෙනත් අයෙකු “ආයිබෝ වේවා” යනුවෙන් ශබ්දනගා අාසිර්වාද කරයි.

    මේ ඉහතින් විස්තර කළේ ගමක සුළු වශයෙන් පවත්වන්නට යෙදුන බලි තොවිලයකි. සමහර විට මෙම ශාන්තිකර්මය විසාලවශයෙන් පවත්වන අවස්ථා ද ඇත. එහි දි නැට්ටුවෝ කීප දෙනෙක් ද, බෙරකරුවෝ කීපදෙනෙක් ද සිටින අතර ඒ සදහා සකසන භූමිය විශාල වනු ඇත.